කංසා ගැන ප්‍රදර්ශනයක් පැවැත්වූ මහාචාර්යවරයා අත්අඩංගුවට

lankaSFnews
0
ganja sri lanka


 කංසා පිළිබඳ පර්යේෂණ සිදු කරන මහාචාර්යවරයකු ලුණුගම්වෙහෙර රණවර්ණාව ප්‍රදේශයේ නිවසක් කුළියට ගෙන එම නිවස තුළ කංසා ආශ්‍රිතව කරන ලද නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශනයක් ඉකුත් 20 වැනිදා සංවිධානය කර තිබුණි. කංසා ප්‍රවර්ධනය කිරීම සඳහා සංවිධානය කර තිබූ එම ප්‍රදර්ශනය නැරඹීමට ගිය ලුණුගම්වෙහෙර පොලිසියේ නිලධාරීන් විසින් මහාචාර්යවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


ganja professor


පසුගිය 20 වැනිදාට යෙදී තිබූ කංසා දිනය නිමිත්තෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබූ අතර ඊට ලොව දියුණු රටවල්වල කංසා ආශ්‍රිතව නිෂ්පාදනය කොට ඇති පාන වර්ග මෙන්ම නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනයට තබා තිබූ බව පොලිසිය පැවසීය. ඒ අතර කංසා ආශ්‍රිතව ඇමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද පාන වර්ග හතරක්, ඔස්ටේ්‍රලියාවේ නිෂ්පාදිත කංසා අඩංගු වයින් බෝතල් කිහිපයක්, නෙදර්ලන්තයේ නිෂ්පාදිත කංසා අඩංගු ශක්තිජනක පානයක්, ස්විස්ටර්ලන්තයේ නිෂ්පාදිත කංසා අඩංගු අයිස් තේ පානයක් ප්‍රදර්ශනයට තැබූ ඒවා අතර විය.


ඊට අමතරව කංසා ගසින් ලබා ගන්නා කෙඳි විශේෂයකින් සාදන ලද රෙදි පිළි, කංසා යොදා ගනිමින් කරන ලද විසිතුරු භාණ්ඩ, කංසා පටක යොදා නිෂ්පාදනය කරන ලද යට ඇඳුම්, ගමන් මලු මෙන්ම සුවඳ විලවුන් වර්ග, ආලේපන වර්ග ඇතුළත් කංසා ආශ්‍රිත නිෂ්පාදන දෙසිය පනහකට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනයට තැබූ ඒවා අතර විය.

professor ganja sri lanka


පනස් හැවිරිදි මහාචාර්යවරයා ගම්පහ ඉහළ යාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ප්‍රදේශයේ ගොවීන් කීපදෙනකු සමග එකතු වී 2021 වසරේ සිට කංසා වගා කරන අවස්ථාවල ගත් ඡායාරූපද මෙම ප්‍රදර්ශනයේ තබා තිබුණි. ඔහු විසින් කංසා සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ තොරතුරු මෙන්ම ග්‍රන්ථ හා ලිපි ද ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබිණි.


කෙසේ වෙතත් කංසා වගා කිරීම හෝ ළඟ තබා ගැනීම සහ කංසා ප්‍රවර්ධනය කිරීම නීතියෙන් තහනම් වන බැවින් මහාචාර්යවරයා අත්අඩංගුවට ගත් බව ලුණුගම්වෙහෙර පොලිසිය ස්ථානාධිපති චින්තක වික්‍රමරත්න මහතා පවසයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කංසා ග්‍රෑම් අටක් සහ කංසා සුරුට්ටු කිහිපයක් ද සොයා ගැනීමට හැකි වූ බවත් අත්අඩංගුවට ගත් සැකකරු තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පැවසීය.


තිස්සමහාරාම – අමිල සම්පත්, කතරගම – කේ. ඩී. දේවප්‍රිය

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top