කඳුකර කොටියන් ඇතුළු වන සතුන් ඉලක්ක කරගනිමින් අටවන ලද මදු, උඟුල්, තුවක්කු බැදීම්, අනවසර තුවක්කු තබා ගැනීම්, හක්කපටස් ඇටවීම්, විදුලිය යොදා කම්බි රැහැන් ඇදීම් වැනි ක්රියා සම්බන්ධයෙන් හා වන සතුන්ට සිදුවන වෙනත් පීඩාකාරී හානි පිළිබඳව දුරකතන අංක 1992 ට අමතා වනජීවී දෙපාර්තුමේන්තුවට කඩිනමින් දැනුම්දීමට පියවර ගන්නා ලෙස වනජීවී නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
වන සතෙකුට සිදුව ඇති කුමණ හෝ පීඩාවක් හෝ අකටයුත්තක් එසේ කඩිනමින් දැනුම්දීමෙන් එම සතුන්ට කඩිනමින් ප්රතිකාර කිරීමටත් එමගින් ඔවුන්ගේ ජීවිත අවධානම අවම කර ආරක්ෂාව ලබාදීමටත් පියවර ගැනීමට හැකි බවද ඔවුහු කියති.
අනවසර ලෙස විදුලිය භාවිතා කරමින් අදින ලද කම්බිවලට පැටලී වන සතුන් මෙන්ම වටිනා මිනිස් ජීවිත අහිමිවීමේ සිදුවීම් වාර්තාවීම් ඉහළ යමින් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයෙන් සිටිමින් තොරතුරු ලබාදීම සිදු කළහොත් ඒවා වළක්වා ගැනීමේ හැකියාව ඇති බවද වනජීවී නිලධාරිහු සඳහන් කරති.
උඩරට වතුකරයේ සිදුවන කඳුකර කොටි මරණ හා මෙරට අනෙකුත් ප්රදේශවල සිදුවන වන සත්ත්ව මරණ හා වන සතුන්ට සිදුවන හානි අවම කර ගැනීම සඳහා වනජීවී අධ්යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් මත විශේෂ වැඩ සටහන් ක්රියාත්මක කොට ඇති බවත්, වන සතුන්ට සිදුවන හානි පැය 24 පුරා ක්රියාත්මක 1992 කෙටි දුරකතන අංකයට හෝ වනජීවී කාර්යාලයකට කඩිනමින් දැනුම්දීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් හා විශේෂයෙන්ම උඩරට වතුකරයේ වතු අධිකාරිවරුන් හා වතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද වනජීවී නිලධාරීහු වැඩිදුරටත් පවසති.