බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා එරට අගනුවර වන ඩකා නුවර නිල නිවසින් ඉවත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඇය බංගලාදේශයෙන් නික්ම ඉන්දියාවේ අගර්තාලා නගරයට පිටව ගොස් ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා.
බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් එරට විරෝධතා දැඩි ලෙස උත්සන්න වී තිබුනා.
පසුගිය දින කිහිපයේ බංග්ලාදේශයේ ඇති වූ විරෝධතා වල දී 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර විශාල ප්‍රමාණයක් තුවාල ලැබුවා.
විරෝධතාකරුවන් රජයේ රැකියා කෝටාවට විරෝධය පල කරමින් කටයුතු කලත් පසුව ඔවුන් බංග්ලාදේශ අගමැතිනිය ධූරයෙන් ඉවත්විය යුතු බවට බල කරමින් එම විරෝධතා මෙහෙයවූවා.