23 හැවිරිදි අවිවාහක මුදල් අය කැමිවරියට වට්ස්අප් තාක්ෂණය ඔස්සේ අසැබි වීඩියෝ දසුන් යොමු කර අපහසුතාවට පත් කළ 24 හැවිරිදි විකුණුම් උපදේශකවරයකු මොරටුව පෞද්ගලික සමාගමක් තුළ දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන අංශය පවසයි.
පිරිමි පුද්ගලයකුගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝවක් මෙන්ම තර්ජනාත්මක අසැබි වැකි සඳහන් කෙටි පණිවිඩ වට්ඇප් තාක්ෂණය ඔස්සේ දින කිහිපයක සිට තම ජංගම දුරකතනයට ලැබෙන බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසත් පන්නිපිටිය ප්‍රදේශයේ තරුණියක් පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් සිදුකර තිබූ බව පොලිසිය පවසයි.
පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නදීකා දිසානායක මහත්මියගේ උපදෙස් මත අදාළ පැමිණිල්ලට අදාළව සිදු කළ මූලික විමර්ශනයේදී තරුණියට එම අසැබි දසුන් යොමු කළ පුද්ගලයා සිම්පත ලබාගෙන ඇත්තේ පෞද්ගලික සමාගමක ලිපිනයන් ඉදිරිපත් කර බව අනාවරණය කරගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි. ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය නිත්‍ය ලෙස සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් මෙම පහත් ක්‍රියාව සිදු කළ බවට අනාවරණය කළ බව පොලිසිය පවසයි. සැකකාර විකුණුම් උපදේශකවරයා මීට වසර දෙකකට පමණ ඉහතදී අදාළ තරුණිය සමඟ සබඳතාවක් මාස දෙකක පමණ කෙටි කාලයක් පවත්වාගෙන ගොස් ඇති අතර එය දෙදෙනාගේම එකඟතාව මත නතර කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
කාලය ගතවත්ම සැකකරුට තරුණිය කෙරෙහි ඇති ඇතිවූ ද්වේෂසහගත සිතුවිල්ලක් හේතුවෙන් මෙවැනි ක්‍රියාවක් සිදු කළ බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිසිය පවසයි.
කැස්බෑව, මඩපාත, මාකන්දන පදිංචි අබේගොඩ ලියනගේ දොන් ධනුෂ්ක නමැත්තා අලුත්කඩේ, අංක 7 අධිකරණයේ මහේස්ත්‍රාත් අයි.එම්. රිෂ්වාන් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක ඇපමත මුදා හැරීමට නියෝග කළේය.
පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නදීකා දිසානායක මහත්මියගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක තිසර, පොලිස් කොස්තාපල් (97491) රජිත ප්‍රියදර්ශන මහත්වරු සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළහ.
-බණ්ඩාරගම - බිමල් ජයසිංහ