අනියම් සම්බන්ධතා නිසා ඇති වන පවුල් ආරවුල් ඉකුත් වර්ෂයේ දී (2023) දසදහස් හාරසිය අටක් (10408) වාර්තා වී ඇති බැව් ශ්‍රී ලංකා පොලිසිය විසින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙයි.
2022 වර්ෂයේ දී මෙරට අනියම් සම්බන්ධතා නිසා ඇති වන ආරවුල් 9636ක් වාර්තා වී තිබුණි. ඒ අනුව 2022 වසරට වඩා 2023 වර්ෂයේ දී අනියම් සම්බන්ධතා නිසා සිදුවී ඇති ආරවුල් සංඛ්‍යාව 772කින් වැඩි වී ඇත. මේ අතර ඉකුත් වර්ෂයේ දී පවුල් ආරවුල් එක්ලක්ෂ දහතුන්දහස් එකසිය අසූඅටක් (113188) වාර්තා වී ඇත.
2022 වර්ෂයේ දී පවුල් ආරවුල් එක්ලක්ෂ එකොළොස්දහස් හත්සියනවයක් වාර්තා වී තිබුණි. 2022 වසරට සාපේක්ෂව 2023 වර්ෂයේ දී පවුල් ආරවුල් 1479කින් වැඩි වී ඇත.
එමෙන්ම පුරුෂයාගෙන් හෝ භාර්යාවගෙන් හිරිහැර වීම නොසැලකීම, ගෘහස්ථ ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් 2023 වර්ෂයේ දී පැමිණිලි විසිදෙදහස් පන්සිය අසූහතරක් වාර්තා වී ඇත. ඒ අනුව 2022 වර්ෂයට සාපේක්ෂව, 2023 වර්ෂයේ දී අනියම් සම්බන්ධතා, පවුල් ආරවුල්, ගෘහස්ථ ප්රචණ්ඩත්වය සම්බන්ධ පැමිණිලි වැඩි වී ඇත. මෙකී පැමිණිලිවලින් සියයට 90කට වඩා වැඩි සංඛ්‍යාවක් විසඳා ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි.
අනියම් සම්බන්ධතා නිසා ඇති වන පවුල් ආරවුල් ඉහළ යෑම සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතාගෙන් අප කළ විමසුමක දී මෙසේ කීවේය.
තමන් අකමැති අයකු සමග ජීවත් වීමත් මානසික පීඩනයක්. තමන් කැමති කෙනෙක් වෙනත් අයකු සමග අනියම් සම්බන්ධතාවයක් ඇති කර ගැනීමත් මානසික පීඩනයක්. මේ නිසා මානසිකව වැටෙන්න පුළුවන්. දියවැඩියාව, හෘද රෝගී තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. මෙකී පවුල්වල තියෙන ගැටුම් ජනතාවට බලපාන්න පුළුවන්. පවුල් සංස්ථාව තුළ ආදරයක් නැතිනම් එකිනෙකාට සැලකීමක් නැතිනම් පළමුව උත්සාහ කරන්න ඕනෑ එම පුද්ගල සම්බන්ධතාවය වර්ධනය කරගන්න. වර්ධනය කරගැනීමට හැකියාවක් නැතිනම් හොඳම දේ තමයි වෙන්ව ජීවත් වීම. ලංකාවේ තියෙන නීති පද්ධතියේ අකැමැති වුවත් වෙන්ව ජිවත්වීම සඳහා තියෙන ඉඩකඩ අඩුයි. දෙදෙනකු අතර පැහැදිලිව නොගැලපීම් තියෙනවා නම් එක්ව සිටීම සහ අඬදබර කර ගැනීම ඒ දෙදෙනාට සහ පවුලේ අයට බලපාන්න පුළුවන් නිසා පවුල් ආරවුල් ඇතිවීමේ හැකියාව වෙනත් රටවල්වලටත් වඩා වැඩියි.
ලලිත් චාමින්ද