මේ වසරේ ජනවාරි 01වන දින සිට ඊයේ (06දා) දක්වා කාලය තුළදී අලි මිනිස් ගැටුම් නිසා හා වෙනත් හේතුන් නිසා අලි ඇතුන් 197ක් මිය ගොස් තිබෙන බවත් මීට අමතරව අලි මිනිස් ගැටුම නිසා මිනිසුන් 73දෙනෙකු මිය ගොස් තිබෙන බවත් වනසත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය සඳහන් කරයි.
පසුගිය වසර තුළදී අලි ඇතුන් 479ක් මරණයට පත්ව තිබෙන බවත් මීට අමතරව අලි මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ169ක් සිදුව තිබෙන බවද එම සංගමයේ අලි මිනිස් සහජීවනය පිළිබඳ උපකමිටුව සභාපති සුපුන් ළහිරු ප්‍රකාශ් මහතා සඳහන් කළේය.
මෙවැනි පසුබිමක් තුළ මෙරට අලි ඇතුන් ගහනය ඉහළ යමින් පවතින බවත් ඔවුන් අපනයනය හෝ ගෘහාශ්‍රිතකරණය කළ යුතු බවට පාර්ලිමේන්තුව තුළදී මන්ත්‍රීවරයෙකු ඊයේ (06දා) යෝජනා කර තිබෙන බවත් මෙම යෝජනාව කිසිදු පදනමක් නොමැති යෝජනාවක් බවද පැවසීය.
අලි ඇතුන් පිළිබඳව මෙරට සිදු කළ පළමු ජාතික සමීක්ෂණයට අනුව 2011 වසරේ ශ්‍රී ලංකාවේ අලි ඇතුන් 5,879 ක් වාර්තා වී තිබූ බවත් කෙසේ වෙතත් 2012 සිට නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙන ආකාරයට මේ දක්වා කාලය තුළදී අලි ඇතුන් 3,770ක් මරණයට පත්ව තිබෙන බවද සඳහන් කළේය.
මිය යන ප්‍රමාණයට සාපේක්ෂව ඊට වැඩි වේගයකින් අලි පැටවුන් බිහිවෙනු ඇතැයි සිතීම අපහසු බවත් ඒ අනුව මෙරට වනඅලි ගහනය අඩු වීමක් මිස වැඩි වීමක් ගැන අපට අපේක්ෂා කළ නොහැකි බවද පවසා සිටියේය.
දෛනිකව සිදුවන අලි මිනිස් ගැටුම ඇතුළු විවිධ හේතු නිසා අලි ඇතුන් අකාලයේ මිය යාම වාර්ෂිකව වේගයෙන් ඉහළ යමින් තිබෙන බවට පෙන්නුම් කරන බවත් මේ නිසා කිසිදු පදනමක් නැති අසත්‍ය මත පැතිරවීමෙන් වැළකී අලි මිනිස් ගැටුම් අවම කර මෙරට අලි සම්පත රැකගැනීමට අවශ්‍ය කරන කටයුතු සිදුකරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.