කොට්ටාව, මත්තේගොඩ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක රියැදුරුට ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රාඩ්‍රෝ ජීප් රථයක, වෑන් රථයක හා ලොරි රථයක ගැටී සිදු වූ මාරක රිය අනතුරින් තුවාල ලැබූ වෑන් රථ රියැදුරු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යෑමේදී පෙරේදා (22) රාත්‍රී මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය, බ්‍රාහ්මණගම, අංක 176/2හි පදිංචි දොන් ලසන්ත දර්ශන ජයමාන්න නමැති 66 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. මෙම ව්‍යාපාරිකයා දෛනික සේවා කටයුතු නිමවා කොට්ටාව, මත්තේගොඩ මාර්ගය ඔස්සේ මත්තේගොඩ දෙසට යමින් සිටියදී පින්හේන හන්දිය ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ. එහිදී මෙම වෑන් රථය කළමනාකාර අධ්යක්ෂවරයකු කොට්ටාව දෙසට පැදවූ ප්‍රාඩෝ ජීප් රථයක ගැටී පසුව මත්තේගොඩ දෙසට සරසවි සිසුවකු පැදවූ වෑන් රථයකත්, ව්‍යාපාරිකයකු කොට්ටාව දෙසට පදවමින් තිබූ ලොරි රථයකත් ගැටී මාරක රිය අනතුරක් සිදුව තිබුණි.
අනතුරින් වෑන් රථ රියැදුරුට පමණක් බරපතළ තුවාල සිදුව තිබූ අතර, සුවසැරිය ගිලන් රථයකින් ඔහු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් තිබේ. අනතුරට ලක් වූ ප්‍රාඩෝ ජීප් රථයට, වෑන් රථ දෙකට හා ලොරි රථයට ද හානි සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී මියගිය වෑන් රථ රියැදුරට හෘදයාබාධයක් වැලඳී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් නිගමනය කිරීම සඳහා ඊයේ (23) මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණ. දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදු කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බොතේජෝ මහතාගේ මෙහෙයවීමෙන් ඉදිරි පරීක්ෂණ පවත්වයි.