කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යයේ කප කැපීම සිදු කෙරේ

lankaSFnews
0

 

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයේ සමාරම්භය සනිටුහන් කරමින් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප කැපීම අද අලුයම අලුත්නුවර දී සිදු කෙරුණා.


මහනුවර විෂ්ණූ දේවාලය හා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ඒකාබද්ධව අලුත්නුවර ප්‍රදේශයේ තෝරා ගත් කිරි සහිත ඵල නොදැරූ ගසක් රිදී පොරවකින් කැපීමයි මෙහිදී සිදු වුණේ.


මහනුවර සිව් මහා දේවාලයන්හිදී සිදු කරන කප් සිටුවීම සඳහා කප සූදානම් කිරිමේ කාර්යයභාරය අලුත්නුවර විෂ්ණු දේවාලයට පැවරී තිබෙනවා.


ඒ අනුව මහ දේවාලය පිහිටි ප්‍රදේශයේ   නැගෙනහිර දිශාභිමුඛව පිහිටන ඵල නොදැරූ පනස වෘක්ෂයක් එනම් ලපටි කොස් ගසක් මේ වෙනුවෙන් වෙන් කර ගනී.


තෝරාගත් ගස වටා පිරිසිදු කොට තිර ඇද, ගස සුවද පැනින් නාවා, සුවද දුම් අල්වා සුභ මූර්තියෙන් ගස නැගෙනහිර දිශාවට වැටෙන සේ  කපා හෙළීම සිදු කෙරෙනවා.


මහනුවර විෂ්ණූ දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා විසින් වන්නක්කු රාළ වෙත රිදී පොරව භාර දී පනස වෘක්ෂය කැපීම සදහා අවසරය ලබා දෙනු ලබයි.


අනතුරුව සකස් කරන ලද එම කප සුදු රෙදි කඩින් ඔතා සුදු උඩු වියන් සහිත මහ පෙරහැරින් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලය කරා ඇතු පිටින් වැඩම කිරිම සිදු වුණා.


අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ තේවාව භාර දම්සිරි  බණ්ඩාර කරුණාරත්න මහතා, මහනුවර කතරගම දේවාලයේ බස්නායන නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා විදානේ රාළ  වරුණ බණ්ඩාර මහතා, ද මේ අවස්ථාවට එක්ව සිටියා.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top