ඉන්දියාවේ කොල්කටා නගරයේ පිහිටි වෛද්‍ය විද්‍යාල රෝහලක දී 31 හැවිරිදි පුහුණු වෛද්‍ය නිලධාරිනියක් දූෂණය කර මරා දැමීමේ සිද්ධියකට විරෝධය පාමින් ඉන්දියාවේ වෛද්‍යවරුන් විසින් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රෝහල්වල හදිසි සේවා කටයුතු පවා අඩපණ වී ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. ඉකුත් සිකුරාදා පැය 36ක අඛණ්ඩ සේවා කාලයකින් පසු කොල්කටා නගරයේ පිහිටි පැරණිතම වෛද්‍ය විද්‍යාල රෝහලක් වන ආර් ජී කාර් වෛද්‍ය විද්‍යාල රෝහලේ සම්මන්ත්‍රණ ශාලාවක ගිමන් නිවීම සඳහා නිදා සිටි 31 හැවිරිදි පුහුණු වෛද්‍යවරියක් දූෂණය කර මරා දමා තිබිය දී ඉකුත් සිකුරාදා (09දා) සොයා ගැනුණු අතර රෝහල් බලධාරීන් මුලින් පවසා තිබුණේ වෛද්‍යවරියගේ මරණය සියදිවිනසා ගැනීමක් බවයි.
එහෙත් ඇය සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්ෂණයේදී මිය ගිය වෛද්‍යවරිය ඝාතනයට ලක් වීමට පෙර දූෂණය වී ඇති බවත් ඇයගේ ශරීරයේ විවිධ කොටස්වලින් රුධිරය වහනය වී ඇති බව අනාවරණය වී තිබිණි. මෙම දූෂණ සිදුවීම ගැන හා ඝාතනය සම්බන්ධයෙන් අදාළ රෝහලේ සිවිල් ස්වේච්ඡා සේවකයකු වන සන්ජේ රෝයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිදුවීමට රෝහලේ වෙනත් නිලධාරීන් සම්බන්ධ දැයි විමර්ශනය කෙරෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මිය ගිය පුහුණු වෛද්‍යවරියට සාධාරණයක් ඉටුකරන ලෙසත් රෝහල් තුළ ආරක්ෂිත වටාපිටාවක් නිර්මාණය කරන ලෙසත් ඉල්ලමින් ඉන්දියාවේ නේවාසික වෛද්‍යවරුන්ගේ සංවිධාන බලමණ්ඩලය විසින් දීපව්‍යාප්ත වෛද්‍ය වර්ජනය කැඳවා තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ