කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ දිවංගත ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාගේ 19 වැනි ගුණසමරුව අදට (12දාට) යෙදී ඇත.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ පාලන සමයේ ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති ධුරය හෙබවූ කදිර්ගාමර් මහතා 2005 වසරේ අගෝස්තු 12 වැනිදා රාත්‍රියේ කොළම 07, විජේරාම මාවතේ පිහිටි සිය නිවස පරිශ්‍රයේ පිහිනුම් තටාකයේ සිට පිටතට පැමිණෙද්දී ස්නයිපර්කරුවකුගේ ප්‍රහාරයකට ලක්වී දිවියෙන් සමු ගත්තේය.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි සිසුවකු වූ ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී ගෞරව උපාධිය ලැබීය. කීර්තිමත් නීතිවේදියකු හා මානව හිතවාදියකු ලෙස මෙරට මෙන්ම ජාත්‍යන්තරයේ ද මහත් කීර්තියක් හා ගෞරවයක් හිමි කරගත් ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා ශ්‍රී ලංකාව හා එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳව සැබෑ ස්වරූපය ජාත්‍යන්තරයට පැහැදිලි කර එල්.ටී.ටී.ඊ. ය හෙළා දකිමින් ද ශ්‍රී ලංකාව පිළිබඳව තිබූ ජාත්‍යන්තර අප්‍රසාදය බැහැර කිරීමටද සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කළේය. 1997 ඔක්තෝබර් 08 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ද 2001 වසරේ පෙබරවාරි 28 වැනිදා එක්සත් රාජධානියේ ද එල්.ටී.ටී.ඊ.ය තහනම් කිරීමට එරට නායකයන් පෙලඹවීමේ ගෞරවය ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාට හිමිවේ.
කදිර්ගාමර් මහතා 1950 වසරේ ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රිකට් නායකයා ලෙස ද 1948 වසරේ ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රිකට් නායකයා ලෙස ද 1948 දී ජ්‍යෙෂ්ඨතම පිතිකරු ලෙස ද 1949 වර්ෂයේදී ත්‍රිත්ව මලල ක්‍රීඩා සිංහයා ලෙසින් ද සම්මාන දිනා ඇත. පළමු ඩන්කන් වයිට් අභියෝගතා කුසලාන ද කදිර්ගාමර් මහතා විසින් දිනා ගන්නා ලදී.
බෞද්ධ ප්‍රජාවගේ උතුම්ම දිනයක් ලෙස සලකන වෙසක් දිනය ජාත්‍යන්තර වෙසක් දිනය ලෙස පිළිගැනීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත 1999දී එවක විදේශ ඇමැතිවරයා ලෙස ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා ඉදිරිපත් කළ යෝජනාව එම මහා මණ්ඩලය පිළිගත්තේය.
- ජූඩ් ඩෙන්සිල් පතිරාජ