ඇල්සයිමර් රෝගය සහ ඩිමෙන්ෂියා රෝග තත්ත්වය වැළදුනු පුද්ගලයින් මෙරට ලක්ෂ හතරක් පමණ ඇති බවට ඇස්තමේන්තු කර ඇති බව ලංකා ඇල්සයිමර් පදනමේ සභාපති මහාචාර්ය ෂෙහාන් විලියම්ස් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඩිමෙන්ෂියා රෝග තත්ත්වය පිළිබඳව දැනුවත් කිරිම සඳහා ඊයේ (27 වැනිදා) කොළඹ නෙළුම් කුළුණ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එසේම වර්ෂයකට ඩිමෙන්ෂියා රෝග තත්ත්වයට මෙරට පුද්ගලයින් පන්සිය දෙනෙකු පමණ ගොදුරු වෙයි. විශේෂයෙන් විශ්‍රාම යෑමෙන් පසු බොහෝ දෙනෙකු මෙම තත්ත්වයට ගොදුරු වන බව වාර්තා වී තිබේ.
දරුවන් මව්පියන්, වැඩිහිටියන් අත්හැර විදෙස්ගත වීම මත ඔවුන්ට ඩිමෙන්ෂියා වැලදිමේ වැඩි ප්‍රවණතාවක් ඇත .
ඇල්සයිමර් රෝගය සහ අනෙකුත් ආකාරයේ ඩිමෙන්ශියා තත්ත්ව වයස් මට්ටම වැඩිවීමත් සමග බහුලව වර්ධනය වේ. කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව තුළ වර්ෂ 2050 වනවිට මිලියන භාගයකට ආසන්න ජනතාවක් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයෙන් පෙළෙනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.
ලෝක ඇල්සයිමර් මාසය වන සැප්තැම්බර් මාසයේ සහ ලබන සැප්තැම්බර් 21 වැනි දිනට යෙදී ඇති ලෝක ඇල්සයිමර් දිනය නිමිති කර ගනිමින් ජාත්‍යන්තර ඇල්සයිමර් සංවිධානයේ (Alzheimer’s Disease International - ADI) සාමාජිකයකු වන ලංකා ඇල්සයිමර් පදනම (Lanka Alzheimer’s Foundation - LAF) විසින් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීම සඳහා වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇත. මතක ශක්තිය නැතිවීම සහ අවබෝධය මත කරනු ලබන ක්‍රියාකාරකම් (සංජානනීය) හීනවී යෑම ආදී විශේෂිත ඩිමෙන්ශියා රෝගයක් වන ඇල්සයිමර් රෝගය පිළිබඳව මහජනතාවගේ අවධානය යොමු කිරීම සඳහා මාසයක් පුරා පැවැත්වෙන වැඩසටහන් මාලාවේ ආරම්භක අවස්ථාව සැප්තැම්බර් මස 01 වැනිදා නෙළුම් කුළුණ රක්ත වර්ණයෙන් එළිදැක්වීමෙන් සනිටුහන් වේ.
ඩිමෙන්ෂියාව පමා කිරීම හෝ වැලැක්වීම සඳහා ඉතාමත් වැදගත් වන කායික හා මානසික ව්‍යායාම ප්‍රවර්ධනය කරමින් ලංකා ඇල්සයිමර් පදනම මතකය සඳහා ධාවන තරගය යන තේමාව යටතේ කිලෝමීටර් 5ක ධාවන තරගයක් කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රය අසලින් සැප්තැම්බර් මස 07 වැනිදා සවස 4.30ට ආරම්භ කරයි. යම් පුද්ගලයෙකුට ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ ඇත්නම් ඒ සඳහා උපදෙස් ලබා ගැනිමට https://alzlanka.org හි LAF වෙබ් අඩවිය ඔස්සේ සහ 011-2667080/82 අංකය හරහා ලංකා ඇල්සයිමර් පදනම සමග සම්බන්ද විය හැකිය.