මේ වන විට ලෝකයේ බොහෝ රටවල බුද්ධිමත් මිනිසුන් අවබෝධයෙන් බොදු දහම වැලඳගනිමින් සිටින බව සැබෑය. ඇමරිකානුවන් බුදු දහම වැලඳ ගැනීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව වාර්තා වේ. එරට තුළ භාවනා වැඩසටහන්වලට සහභාගි වන පිරිස වේගයෙන් ඉහළ යමින් තිබෙන බව ද වාර්තා වේ. ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගනිමින් සිටින ලෝකයේ විවිධ රටවල මිනිසුන් භාවනා වැඩසටහන්වලට සම්බන්ධවීම අරමුණු කරගෙන බෞද්ධ රටවල සංචාරය කරන බව සැබෑය. ඒ අයුරින් ලෝකය පුරා බෞද්ධ පුනරුදයක් නිර්මාණය වෙමින් තිබෙන පසුබිමක මෙරට විවිධ කණ්ඩායම් බුදු දහම හා භික්‍ෂුන් වහන්සේ විවේචනය කරමින් මුල්බැස ගත් අපේ සංස්කෘතිය වෙනස් කිරීමට කතා කියති. ජාත්‍යන්තර අන්තවාදී කණ්ඩායම්වලින් පෝෂණය වන ඇතැම් පිරිස් මෙරට අනාගත පරපුරේ සිත්, විකෘති දහමෙන් පුරවති. අරගලකාරී හා කෝපාවිෂ්ට සිතුවිලිවලින් තාරුණ්‍ය වල්මත් වෙමින් තිබෙන පසුබිමක ‘පානදුරාවාදය’ සිහිපත් කිරීම කාලෝචිත බව අපගේ අදහසය.
එමෙන්ම යටත්විජිත පාලකයන්ගේ අමන ක්‍රියාකාරකම් මෙන්ම මිෂනාරි ව්‍යාපාරය මෙරට තුළ සූක්‍ෂ්මව හා ප්‍රබලව ක්‍රියාත්මක වෙමින්, පෙර රජ දවසේ සිට ආරක්‍ෂා කරගෙන පැමිණි සම්බුදු දහමට, හෙළ බොදු සංස්කෘතියට දරුණු ලෙස පහර දෙමින් තිබුණු පසුබිමක තත්කාලීන භික්‍ෂුන් ්වහන්සේ සහ ගිහි බෞද්ධ පිරිස් තම අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා අවිහිංසාවාදී ලෙස සිදු කළ සටන ‘පානදුර මහා වාදය’ බවට විවාදයක් නැත. 1873 වර්ෂයේ අගෝස්තු මස 26 සහ 28 දෙදින තුළ පානදුරේ, පට්ටියේ දොඹගහවත්ත ඉඩමේ විසල් මඩුවක පවත්වන ලද ඓතිහාසික ‘පානදුර මහා වාදය’ පංච මහා වාද අතරින් වඩා වැදගත්ම වාදය ලෙස සැලකෙන බව ද සැබෑය. සෙසු වාද වනුයේ බද්දේගම වාදය (1865), වරාගොඩ වාදය (1865), උදන්විට වාදය (1866) සහ ගම්පොළ වාදය (1871) වේ. එම පංච මහා වාද සංවිධානය වීමට ප්‍රධාන හේතු සාධකය ආගමික මත ගැටුම් ය.
ක්‍රි. ව. 1796 වර්ෂයේදී බි්‍රතාන්‍ය පාලනය ආරම්භයේ සිටම ඔවුන්ගේ ප්‍රධාන පරමාර්ථය වූයේ මෙරට තුළ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීමය. බෞද්ධ ආගම නොසලකා හරිමින්, සිංහල ජාතිය අන්ත අසරණ තත්ත්වයට පත් කරවමින් ක්‍රිස්තියානි ආගම මෙරට ප්‍රධාන දහම බවට පත් කිරීමට ඔවුහු විවිධාකාරයෙන් ක්‍රියාත්මක වූහ. සිංහල බෞද්ධයන්ට සමාජයේ සියලු අවස්ථා අහිමි කරමින් ක්‍රිස්තියානි ආගම වැලඳගන්නා ලෙසට බල කර සිටියහ. පිරිවෙන් අධ්‍යාපනය මූලික කරගත් බෞද්ධ අධ්‍යාපනය කඩාකප්පල් කර ක්‍රිස්තියානි මිෂනාරි අධ්‍යාපන ක්‍රමය බලහත්කාරයෙන් සමාජගත කිරීමට කටයුතු කළහ. ආර්ථිකමය වශයෙන් සිංහල ජනතාව දුර්වල කරමින්, බෞද්ධයන් යැයි පැවසීම ද ලැජ්ජාවට කාරණයක් බවට පත් කරමින් තිබූ පසුබිමක පානදුරේ වෙස්ලින් දේවස්ථානයේදී දාවිත් ද සිල්වා දේවගැතිවරයා විසින් බුදු දහමේ ප්‍රධාන ඉගැන්වීම් වැරැදි ලෙසට දේශන පවත්වා තිබිණි. ඒ බව සැල වූ පානදුර රන්කොත් විහාරස්ථානයේ දායක – දායිකාවෝ විසින් වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නායක හාමුදුරුවෝ වඩම්මවා පිළිතුරු දේශනයක් පැවැත්වූහ. ඒ අයුරින් වෙස්ලින් දේවස්ථානයේ සහ රන්කොත් විහාරයේ අභ්‍යන්තර දේශන කිහිපයක් පැවැත්විණි. ඒ අතර කාලය තුළ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ ප්‍රමුඛ භික්‍ෂුන් වහන්සේ ‘නව ජීවන ව්‍යාපාරය’ ආරම්භ කරමින් බෞද්ධ ප්‍රජාවට ජීවයක් ලබාදීමට කටයුතු කරමින් සිටියහ. එවැනි පසුබිමක මුහුණට මුහුණ වාදයක් පැවැත්වීමට ක්‍රිස්තියානි පාර්ශ්වයෙන් යෝජනා කෙරිණි. බෞද්ධ පාර්ශ්වයෙන් ද එම යෝජනාවට කැමැත්ත පළ කෙරණි.
‘පානදුර මහා වාදය’ සඳහා කරුණු දහයකින් සමන්විත ගිවිසුමකට දෙපාර්ශ්වය අත්සන් තැබුණු අතර, පට්ටියේ දොඹගහවත්ත ඉඩමේ ඉදිකෙරුණු විශේෂ මඩුවක වාදය පැවැත්වීමට දෙපාර්ශ්වයේ එකඟතාවය පළ විය. ක්‍රිස්තියානි පාර්ශ්වය වෙනුවෙන් දාවිත් ද සිල්වා දේවගැතිවරයා ද දෙවැනුව සිරිමාන්න කතීසේරුතුමා ද කථිකයන් ලෙස වාද පිටියට අසුන් ගැනීමට ගිවිසුම්ගත වූ අතර බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් දින දෙක පුරාවට මිගෙට්ටුවත්තේ ගුණානන්ද නායක හාමුදුරුවෝ වාද කිරීමට එකඟ වූහ. කථිකා කරගත් ආකාරයට 1873 වර්ෂයේ අගෝස්තු මස 26 සහ 28 දෙදින පුරා සාමකාමී අයුරින් වාදය පැවැත්විණි. එම වාදය නැරඹීමට දස දහසක පමණ මහා පිරිසක් රැස්වී ඇති බව ද ක්‍රිස්තියානි පාර්ශ්වයෙන් මතුකළ තර්කවලට ගුණානන්ද හිමියන් බයිබල් පාඨ ගෙනහැර දක්වමින් සරල බසින් තර්කානුකූලව පැහැදිලි කිරීම නිසා වාද පිටියේ සිටි බෞද්ධයන් ප්‍රීති ප්‍රමෝදයට පත් වී ඇති බව ද ඉතිහාසගත වී ඇත. උන්වහන්සේගේ තර්ක බිඳීමට කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ක්‍රිස්තියානි කථිකයන් දෙදෙනාම මහත් අපහසුතාවට පත් වූ බව ද ඉතිහාසයේ සඳහන් ය.
1873 වර්ෂයේ අගෝස්තු මස 26 සහ 28 දෙදින පුරා පැවැති පානදුර මහා වාදය එවකට ‘සිලෝන් ටයිම්ස්’ පුවත්පතේ කර්තෘ ජෝන් කැපර් විසින් ඇඩ්වඩ් පෙරේරා ලවා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර, ලිපි මාලාවක් ලෙස පුවත්පතේ පළ කර ඇති අතර පසුව පිටපත් දහස් ගණනක් මුද්‍රණය කර බෙදාහැර තිබේ. කාලයෙන් කාලයට මුද්‍රණය වූ පානදුරාවාදයේ ඉංග්‍රීසි පරිවර්තන ග්‍රන්ථ ආගම් භේදයකින් තොරව විදේශීය රටවල විද්වතුන්ගේ විශේෂ අවධානයට යොමු වී තිබේ. ජෝන් කැපර් විසින් ප්‍රසිද්ධ කරන ලද එම පිටපතක් ඇමෙරිකානු ජාතිකයෙක් වූ ෆිබල් මහතා ගාල්ලේදී දැක එය සිය රටට ගෙන ගොස් නැවත මුද්‍රණය කර බෙදාහැරීමට කටයුතු කර තිබේ. එම පිටපතක් කියවා ඇති හෙන්රි ස්ටීල් ඕල්කට්, සිය බිරිඳ බ්ලවැට්ස්කි සමග 1880 වර්ෂයේදී මෙරටට පැමිණ බුදු දහම වැලඳගෙන බෞද්ධ පුනරුදයක් ඇති කිරීමට සුවිශේෂී මෙහෙවරක් සිදු කර ඇත. ගිහි – පැවිදි දෙපාර්ශ්වයටම පොදු සංවිධානයක් වූ පරම විඥානාර්ථ බෞද්ධ සමිති ආරම්භ කර ගම් නියගම්හි බෞද්ධ පාඨශාලා පිහිටුවීමට ද කටයුතු කර තිබේ. මෙරට බෞද්ධ අධ්‍යාපනය විධිමත් අයුරින් දියුණු කර බෞද්ධ පාසල් ආරම්භ කිරීම, පරම විඥානාර්ථ සමාගම මගින් ආනන්ද – නාලන්ද – ධර්මරාජ සහ මහින්ද ආදී බෞද්ධ පාසල් ආරම්භ කිරීම, කාන්තා අධ්‍යාපනය උදෙසා විශාඛා හා මියුසියස් යන විද්‍යාල ආරම්භ කිරීම සහ බෞද්ධ අධ්‍යාපන අරමුදල ආරම්භ කොට එයට ආධාර එකතු කිරීමට රටපුරා සංචාරය කිරීම ඕල්කට්තුමාගේ බෞද්ධ පුනරුදයේ කැපීපෙනෙන වැඩ කොටසකි.
සරසවි සඳරැස පුවත්පත් ආරම්භ කර බෞද්ධයන් එකතු කිරීම, ඉරුදින දහම් පාසල් පැවැත්වීම ආරම්භ කිරීම, වෙසක් පෝය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කරගැනීමට දායකවීම ආදීකටයුතු ඕල්කට්තුමාගේ ජාතික සේවය සමග බෞද්ධ සමාජය තුළ දැවැන්ත පිබිදීමක් ඇති විය. අනාගරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර, ඩී. බී. ජයතිලක, ආතර් වී. දියෙස්, පියදාස සිරිසේන, අමදෝරිස් මෙන්ඩිස්, ආර්. ඒ. මිරැන්ඩෝ, ඩී. ඒ. හේවාවිතරණ වැනි තරුණ නායකයන් සමාජගත වූයේ ද පානදුරාවාදය නමැති වස්තු බීජයෙන් බවට විවාද නැත. බෞද්ධ සංවිධාන, ජාතික සංවිධාන ආරම්භ වීමේ තිඹිරිගෙය පානදුරාවාදය බවට සැක නැත. එවැනි ආගමික පුනරුදයක් ඇති කරමින්, බුදු දහමේ දාර්ශනිකත්වය, ගැඹුරු හරය සහ අගය ලෝකය පුරා ප්‍රචලිත කිරීමට මහඟු පිටිවහලක් වූ ‘පානදුරාවාදය’ ඉතිහාසය පුරාවට සෑම වර්ෂයකම ආගෝස්තු මස 26 වැනිදා සැමරීමට ජාතික සංවිධාන කටයුතු කෙරිණි. එහෙත් කාලයක් පුරාවට පානදුරාවාදයේ ගුණ සැමරුම් උත්සව නතර වී තිබුණු බව සැබෑය. අනතුරුව 2003 වර්ෂයේදී මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ඇතුළු පිරිසක් විසින් පානදුරාවාදයේ 130 වැනි ගුණ සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි. එදා සිට මේ දක්වා අඛණ්ඩව ‘පානදුරාවාද අනුස්මරණ සභාව’ විසින් එම උත්සවය වාර්ෂිකව සිදුකරනු ලබයි. 2023 වර්ෂයට යෙදී තිබුණු පානදුරාවාදයේ 150 වැනි ගුණ සැමරුම සුවිශේෂී බව අවබෝධ කරගත් බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින් එම ගුණ සැමරුම් උත්සවය විශේෂයෙන් සැමරීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයට යෝජනා කෙරිණි. අනතුරුව පානදුරාවාද අනුස්මරණ සභාව, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සහ බෞද්ධාලෝක පදනම ඒකාබද්ධ වී පානදුරේ ‘මහා වාදය’ පැවැති භූමියේදීම රාජ්‍ය උත්සවයක් පවත්වනු ලැබිණි.
එම උත්සවයට සමගාමීව ‘2023 අගෝස්තු 26 වැනි දා සිට 2024 ආගෝස්තු 28 වැනිදා’ දක්වා කාලය ‘පානදුරාවාදයේ 150 වැනි සංවත්සර වර්ෂය’ ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. තවද ‘පානදුරා මහා වාදය’ පැවැති භූමිය ජාතික උරුමයක් බවට පත් කිරීමට ද යෝජනා කෙරිණි. සමරු මුද්දරයක් එළිදැක්වීමට කටයුතු කෙරිණි. ‘150 වැනි සංවත්සර වර්ෂය’ පුරා ‘පානදුරාවාදය’ සම්බන්ධයෙන් වැඩසටහන් පැවැත්වීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් තීරණය කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස සංවත්සර වර්ෂය පුරාවට ඒ සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් පැවැත්වීමට බෞද්ධාලෝක පදනම විසින් කටයුතු කෙරිණි. ඒ අනුව ඓතිහාසික ‘පානදුරාවාදයේ’ අභිමානවත් 150 වැනි සැමරුම නිමිති කොටගෙන පසුගිය වර්ෂයේ අගෝස්තු මස 28 වැනිදා ‘පානදුරාවාදය අනුස්මරණ බෞද්ධ ප්‍රබෝධය’ නමින් සංවාදයක් ද පැවැත්විණි. බෞද්ධාලෝක පදනම විසින් සංවිධානය කර, කොළඹ ආනන්ද විද්‍යාලයීය ඕල්කට් ශාලාවේදී පැවැති එම සංවාදයට මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතා සහ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් යන මහත්වරු ප්‍රධාන දේශන ඉදිරිපත් කළහ. එමෙන්ම පානදුරාවාදය සම්බන්ධයෙන් විමල් අභයසුන්දර සූරීන් රචනා කරන ලද ‘මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද අපදාන’ ග්‍රන්ථය මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර සහ පාණිනී වෑවල යන මහත්වරු විසින් නැවත සංස්කරණය කර එළිදැක්වීම ද සිදු කළහ.
එමෙන්ම පසුගිය වර්ෂයේ ආගෝස්තු මස 28 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයේ ඕල්කට් ශාලාවේදී පානදුරාවාද සම්භාෂණයක් පවත්වන ලදී. පානදුරාවාදයේ දෙවැනි පරපුරේ පුරෝගාමියා ලෙස සැලකෙන ආනන්ද – නාලන්ද – ධර්මරාජ විද්‍යාල ත්‍රිත්වයේ හිටපු විදුහල්පතිවරයෙක් වන එල්. එච්. මෙත්තානන්ද මහතා වෙනුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේදී උපහාර උළෙලක් පවත්වනු ලැබිණි. එම උත්සවයට සමගාමීව එල්. එච්. මෙත්තානන්ද කෘතියක් ද එළිදැක්විණි. එමෙන්ම පානාදුරාවාදය පැවැත්වීමට ප්‍රධාන වූ මිගෙට්ටුවත්තේ ගුණාන්නද නායක හිමි වැඩවාසය කළ කුමාරකන්ද විහාරස්ථානයේ පැරැණි පුස්කොළ පොත් සංරක්‍ෂණය කිරීමේ වැඩසටහනක් දියත් කෙරිණි. පානදුරාවාදයේ 150 වැනි ගුණ සැමරුම් වර්ෂයට සමගාමීව සිදු කරන ලද වැඩසටහන් මාලාවේ සුවිශේෂීම වැඩසටහන වනුයේ ‘පානදුරාවාදය’ට අදාළ බෞද්ධ සහ ක්‍රිස්තියානි දෙපාර්ශ්වය හුවමාරු කරගත් ලිපි ලේඛන ‘ලෝක මතක උරුම’ ලෙස යුනෙස්කෝව මගින් ප්‍රකාශ කර ගැනීමට අවශ්‍ය කොන්දේසි සපුරා ගැනීමට කටයුතු සම්පාදනය කිරීම ය. මේ වන විට එම ලේඛන යුනෙස්කෝව වෙත ඉදිරිපත් කර ඇති අතර එහි ප්‍රතිඵල වසරක කාලයක් ඇතුළත ලැබීමට නියමිත ය.
පානදුරාවාදයේ 150 වැනි ගුණ සැමරුම් වර්ෂයට සමගාමීව සිදු කළ සියලු වැඩසටහන් අවසානයේදී වර්ෂ පූර්ණ පරිසමාප්ත උත්සවය මේ මස 28 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයේදී ත්‍රෛනිකායික මහ නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, කොළඹ ආනන්ද විද්‍යාලය සහ බෞද්ධාලෝක පදනම එක්ව සංවිධානය කරනු ලබන එම උත්සවයේදී පානදුරාවාදය සම්බන්ධයෙන් ශාස්ත්‍රීය සංග්‍රහයක් එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබේ. එමෙන්ම කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතාගේ උපදෙස් පරිදි එම විදුහලේ ඕල්කට් ශාලාවේදී මෙරට පාසල් සියයකට අධික සංඛ්‍යාවක ශිෂ්‍ය නායක – නායිකාවන්ගේ එකතුවෙන් ‘ශිෂ්‍ය ප්‍රඥප්තියක්’ එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබේ. එම උත්සව සභාවේදී අමරපුර නිකායේ වැඩ බලන උත්තරීතර මහ නායක කරගොඩ, උයන්ගොඩ මෛත්‍රිමුර්ති නායක ස්වාමින් වහන්සේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් විශේෂ දේශන සිදු කිරීමට නියමිතය.
පානදුරාවාදයේ 150 වැනි ගුණ සැමරුම් වර්ෂයට සමගාමීව සිදුකෙරුණු වැඩසටහන් මාලාව සාර්ථක කර ගැනීමට අමරපුර මහා නිකායේ මහ නායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, පානදුරේ රන්කොත් විහාරාධිපති කහපොළ සුදත්තරතන නායක හිමියන් සිදු කළ සුවිශේෂී මෙහෙර ද විශේෂයෙන් සිහිපත් කළ යුතුය. උන්වන්සේගේ අධීක්‍ෂණය සහ බෞද්ධාලෝක පදනමේ අනුග්‍රහය නොලැබෙන්න පානදුරාවාදයේ 150 වැනි ගුණ සැමරුම ද සාමාන්‍ය ගුණ සැමරුමක් පමණි. එමෙන්ම ‘පානදුර මහා වාදය’ තුළින් ක්‍රිස්තියානි දර්ශනය මතවාදීව පරාජය කිරීමට ලැබීම ජාතියක් වශයෙන් අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. වර්තමානයේදී ද සිංහල බෞද්ධ ජනතාවට පානදුරාවාදයේ ආශීර්වාදය ලැබෙන බව සැබෑය.
තරංග රත්නවීර