ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන පූජනී භාග්‍යා රිය අනතුරකට ලක්වෙලා තුවාල වීම ගැන වගේම ඇය දෙමළ ජාතික සම්භවයකින් පැවත ඒම නිසා සිංහල ටෙලි නාට්‍යවල රඟපාන්න බාධාවීමක් ගැන මේ දවස්වල සමාජ මාධ්‍ය උණුසුම් කරලා තියනවා. ඉතින් ඒ ගැන පූජනීගෙන්ම අහන්න හිතුවා.
පූජනී දරුණු රිය අනතුරකට ලක්වුණා කියලා ආරංචියි?
ඔව්. රිය අනතුරකට ලක්වුණා හැබැයි ඒ ආයාචනා ටෙලිනාට්‍යය වෙනුවෙන්. තුවාල පිටින් ඉන්න ඡායාරූප සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරලා තිබුණ නිසා ගොඩක් දෙනෙක් මට කතා කරලා හොයලා බැලුවා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. රූගතකිරීම් වෙනුවෙන් කරපු බොරු තුවාල කියලා දැනගත්තාම තමයි ගොඩක් දෙනෙක් සංසුන් වුණේ.
සිංහල ටෙලිනාට්‍යවල පූජනීට රඟපාන්න දෙන්නෙ ඇයි කියලා සමාජ මාධ්‍යවල කතාවක් හැදිලා තියනවා...
මගේ අම්මා සිංහල බෞද්ධ. තාත්තා දෙමළ හින්දු ජාතිකයෙක්. ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙදීම පවුල් පසුබිම ගැන මාධ්‍ය හරහා මම ප්‍රේක්ෂකයන්ට එළිදරව් කරලා තියනවා. ඉතින් ඒ සම්බන්ධව ප්‍රේක්ෂකයන්ටවත් මාත් එක්ක ක්ෂේත්‍රයේ වැඩ කරන අයටවත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි ළඟදී ගැහැනුද පිරිමිද කියලා හොයාගන්න බැරි පුද්ගලයෙක් සමාජ මාධ්‍ය හරහා කියලා තිබුණා මං වගේ දෙමළ ජාතික කෙල්ලෙක්ව ඇයි සිංහල ටෙලිනාට්‍යයවල රඟපාන්න අරගන්නේ කියලා. ඒ කෙනාට මම හොඳට පැහැදිලි කළා දෙමළ සම්භවයක් තිබුණට මම රඟපාන්නේ ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රය වෙනුවෙන් කියලා වගේම මගේ පවුල් පසුබිම ගැන මම හැම වෙලේම ආඩම්බර වෙනවා කියලා.
ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙදී කාටවත් ප්‍රශ්නයක් නොවුණ පවුල් පසුබිම ගැන ඇයි දැන් ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ?
ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙට වැඩිය අද වෙද්දී මම ස්ථාවර තත්ත්වයක් ගොඩනගාගෙන ප්‍රේක්ෂකයන්ගේ ආදරය එක්ක ඉස්සරහට යන ගමන් ඉන්නේ. මම හිතන්නෙ ඒ දේවල් දරාගන්න බැරුව කවුරුහරි ඊර්ෂ්‍යාවට මතු කරපු ප්‍රශ්නයක් මේක.