තුරුණු වියේදීම සැමියා අහිමි වුවත්, ඇය යළි ගොඩනැඟෙන්නේ තවත් දුක් කන්දරාවකට මුහුණ දීගෙන ය. ව්‍යාපාරයකින් ඔබ්බට ගිය, වෙනස් විදිහේ හැඟීමක් සහ ගෞරවයක් උපදින, සිය සැමියා විසින් නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමා කලාවේ නව ඇරඹුමක් සටහන් කරමින් ඇය ආ ගමන බොහෝ දුෂ්කර එකකි.
මේ ඇගේ කතාවයි.
ඔබේ නම කියැවෙන්නේ බුද්ධ ප්‍රතිමා ව්‍යාපාරයක් එක්ක…
මේ ව්‍යාපාරය බිහි වෙන්නේ කැටයම් සහ මූර්ති නිර්මාණ ශිල්පියකු වූ මගේ මහත්තයා අතින්. ඔහු, ජනාධිපති සම්මානලාභී විමල් ප්‍රේමචන්ද්‍ර. මාපලගම විපුලසාර හාමුදුරුවන්ගේ ගෝලයා. වයස අවුරුදු 44දී මිය ගියා. එදා පටන් මේ නිර්මාණශීලී ව්‍යාපාරය බොහොම පරිස්සමින් වතාවත්වලට අනුව ඉදිරියට පවත්වාගෙන යන්නේ මම.
විවිධ ගල් වර්ග ඇසුරෙන්, කැටයම් වාත්තුවෙන් විවිධ ප්‍රමාණයේ විවිධ මුද්‍රාවේ බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා, බෝධිසත්ව ප්‍රතිමා, සඳකඩ පහණ, පුන්කලස්, මුරගල් ඇතුළු පුරාවස්තු අනුරූ නිර්මාණය කිරීමයි අපගේ ව්‍යාපාරය. විශේෂත්වය තමයි, මේ බුද්ධ ප්‍රතිමා සියල්ල යළි යළි නිර්මාණය කෙරෙන්නේ, මගේ මහත්තයාගේ මුල් නිර්මාණ අච්චුවකට රැගෙන හදාගන්නා ක්‍රමවේදයකට අනුව වීම.
ඇයි, වතාවත්වලට අනුව කරගෙන යන ව්‍යාපාරයක් කියන්නේ…
පාන්දර 3.30ට අවදි වෙලා පිරිත් කියලා උදේ දානය පිළියෙල කරලා, පූජා කරලයි දවස ආරම්භ කරන්නේ. දවල් 11.30ට හේවිසි හඬ මැද ආපහු දවල් දානය බුද්ධ පූජාව ලෙස පිළිගන්වනවා. මේ බුද්ධ පූජාවට හැමදාම ව්‍යංජන 18 සිට 32 දක්වා ප්‍රමාණයක් උයන්නේ මමම යි. පාන්දර 3.30ට අවදි වෙලා හැම එළවළුවකින්ම ග්‍රෑම් 500 බැගින් දවල් බුද්ධ පූජාවට වෙනම උයනවා. මේ සියල්ල ලෑස්ති කරගෙනයි මම ව්‍යාපාර කටයුතු පටන් ගන්නේ. ඒ සඳහාම වෙන් වුණු අපේ මේ බුදු කුටියේ පහන් හතරක් දැල් වෙනවා. දෙවියන්ට බුදුන්ට වගේම එහි එක පහනක් දැල්වෙන්නේ මගේ මියගිය මහත්තයාට සහ ඒ වගේ පුතෙක් මට ලබා දුන්නු ඔහුගේ අම්මා තාත්තා වෙනුවෙන්.
ඒ වගේම මේ බුද්ධ ප්‍රතිමා සියල්ලක්ම අපි නිර්මාණය කරන්නේ නැකතකට අනුවයි. නේත්‍රා තබන්නේත් එලෙසමයි. පිළිමයක් විකුණද්දී එය තැන්පත් කරන තැන පවා අපි පාරිභෝගිකයාගෙන් අහනවා. සල්ලි දුන්නාට පස්සේ වගකීමක් නෑ කියලා හිතුවොත් මේ ව්‍යාපාරය කරන්න බැහැ. මේක හදවතේ ලොකු බැඳීමක් තිබෙන සහ ගෞරවයෙන් කළ යුතු ව්‍යාපාරයක්.
මේ පිළිම නිර්මාණය වන්නේ ගල්වලින් පමණක් ද…
ඔව්. සුදු සහ රෝස තිරුවානා ගල් වර්ග, ග්‍රැනයිට් කළු ගල් සහ තවත් බයින්ඩර් මිශ්‍රණයක් ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස ගෙනයි, මේ සෑම බුද්ධ ප්‍රතිමාවක් ම නිර්මාණය කරන්නේ. ඒ වගේම ඇස, නාසය, කට තැබිය යුතු බෙදුම් ක්‍රම තිබෙනවා. මේ සියුම් දේ නිසා පිළිමයක් නිම කරන්න දවස් පහ හයක් යනවා.ඉස්සර නම් ගල් ගෝනි ගණන් ගෙනැත් අපිමයි කුඩු කර ගත්තේ. දැන් මේ සියලුම ගල් කුඩු වර්ග ගෙන්වන්නේ ජපානයෙන්.
මේ බුද්ධ ප්‍රතිමා පිට රටවලටත් යවනවා නේද…
ලෝකයේ හැම රටකින්ම වගේ මේ බුද්ධ ප්‍රතිමා මිලදී ගන්නා අය ඉන්නවා. ඒ රටවල පන්සල්වලට, බණ භාවනා කරන ස්ථානවලට, නිවෙස්වලට වගේම තෑගි දෙන්නත් බොහෝ අය බුදු පිළිම ගන්නවා. ඒ රටවල එළිමහනේ තැන්පත් කරන සම්ප්‍රදායක් තිබෙන නිසා අව්වට වැස්සට ඔරොත්තු දෙන වාහන පින්තාරු කරන 2k පේන්ට්වලිනුයි අපි ඒ බුදුපිළිම පින්තාරු කරන්නේ. ඒ පේන්ට් වර්ග ගණන් නිසා එය මිල වැඩි ක්‍රමවේදයක්. නමුත් එළිමහනේ තැන්පත් කරන බුදුපිළිමයක් නම් අපි අනිවාර්යෙන් එය කර දෙනවා. හැබැයි ස්විමින් පූල් හෝ ක්ලබ් වැනි ස්ථානවලට තැන්පත් කරන්න නම් අපි බුදු පිළිම විකුණන්නේ නැහැ. මේක බිස්නස් එකක් විතරක් කරගෙන ඉදිරියට යන්න පුළුවන් ගමනක් නෙවෙයි. වත් පිළිවෙත් එක්ක යන ගමනක් කිව්වෙ ඒකයි.
ඔබටත් ප්‍රතිමා අඹන්න පුළුවන්ද…
මගේ මහත්තයා මැටි පිඩකට පණ දෙන තරමට භක්තියෙන් සම වැදිලා, නොකා නොබී බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරන ආකාරය මම කොතෙකුත් දැක තිබෙනවා. ඒවා උත්පත්තියෙන් රැගෙන එන දක්ෂතා. සහජ කුසලතා. ඔහු ඇසුරෙන් මම යම් යම් දේ ඉගෙන ගත්තා. ඔහුගේ හැකියාවට, නිසි වටිනාකමක් ලැබෙන ලෙස මේ ව්‍යාපාරයට පිළිවෙළක් දුන්නේ මම.
ඒ කියන්නේ ඔබ ව්‍යාපාරික පසුබිමක් තිබෙන කෙනෙක්ද…
නැහැ. මම ගොවි පවුලක දුවක්. අපි හිටියේ ත්‍රිකුණාමලයේ. අපේ තාත්තා කළේ ගොවිතැන්. හොඳ හැටි කුඹුරු ඉඩකඩම් තිබුණා. අපි කොළඹ එන්නේ යුද්දේ කාලේ. AAT ආචාර්යවරයකු වන JMC ජයසේකර මගේ අම්මගේ මල්ලි. අපේ ගෙදර ගෑනු ළමයින්ම අට දෙනෙක්. පිරිමි ළමයි හතරක්. මම පවුලේ 9වැනියා. ජයසේකර මාමා තමයි කොළඹ ගෙනැත් එයාගේ ගෙදර අපිව නවත්වාගෙන උසස් අධ්‍යාපනයට යොමු කළේ. මමයි නංගිලායි ගිණුම්කරණය ඉගෙන ගත්තෙත් මාමාගෙන්ම යි. මාමා මාව කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ ඔෆිස් එකේ රැකියාවකට දැම්මා. එතැන මම කළේ ගිණුම්කරණ කටයුතු. මට අපේ මහත්තයව මුණගැහෙන්නේ ඔය කාලයේ දී. අපි මුලින්ම කතා බහ කළේ දෙසැම්බර් 13 වැනිදාවක. එයා මිය ගියෙත් දෙසැම්බර් 13 වැනිදාවක.
ඔබේ සැමියා කලා පවුලක කෙනෙක් ද…
මගේ මහත්තයාගේ තාත්තට චිත්‍ර අඳින්න, පිළිම අඹන්න පුළුවන්. එනිසාම පන්සල් ඇසුරක් තිබුණා. ඔහු මාපලගම විපුලසාර හාමුදුරුවෝ ළඟට තමන්ගේ පුතාව ඉගෙන ගන්න යවන්නේ ඒ පන්සල් ඇසුර නිසා. ඒත් මගේ මහත්තයට වයස 15 වන විට හෘදයාබාධයකින් ඔහුගේ පියා මිය ගියා. එවිට පියාගේ වයසත් 44යි. මගේ මහත්තයට හිටියේ නිවුන් සහෝදරයෙක්. ඔහුට මේ ගැන හැකියාවක්වත් උනන්දුවක්වත් තිබුණේ නැහැ. ඔහු වෙනම අංශයක රැකියාවක් කළ කෙනෙක්. ඒ නිවුන් සොයුරත් අවුරුදු 46 දී මිය ගියා. කිසිම ලෙඩක් දුකක් නැතිව හිටි මගේ මහත්තයත් අවුරුදු 44 දී හිටි අඩියේ මිය ගියේ හෘදයාබාධයකින්.
හැබැයි මහත්තයාගේ පවුලේ හැමෝටම කුමක් හෝ කලා හැකියාවක් තිබුණා. මහත්තයාගේ එකම නංගී චන්ද්‍රකාන්ති රේණුකා. එයාටත් ලස්සනට අකුරු ලිවීමේ හැකියාව තිබුණා. දක්ෂ වඩු සීයා කෙනෙක් ඒ පරම්පරාවේ හිටියා.
මගේ මහත්තයා, පිළිම අඹන්න අරන් තියෙන්නේ වයස තුනේදී විතර. ඉස්කෝලෙ ගිහින් එනකොට අම්මා මැටි ගෙනැත් තියෙනවලු පුතා වෙනුවෙන්ම. තාත්තත් එක්ක තිබුණු පන්සල් ඇසුර නිසා ඒ හැකියාව තවත් දියුණු වුණා. ඇත්තටම මගේ මහත්තයා මූර්ති ශිල්පියෙක් විතරක් නෙවෙයි, වෙස් මුහුණු ශිල්පියෙක්. චිත්‍ර ශිල්පියෙක්. එයා ඒ කාලෙ අඩි 25 පිළිම පවා ඇඹුවා. දුවටත් ඒ හැකියාව එහෙමම පිහිටලා තිබෙනවා. නමුත් දුවට වයස 15 දී තාත්තා අහිමි වුණා. මහත්තයාට එයාගේ තාත්තා අහිමි වෙද්දීත් මහත්තයට වයස 15යි. ඒවා මහා දෛවෝපගත සිදුවීම්.
පහු කළ දුෂ්කරම කාලය මතකද…
මාපලගම විපුලසාර හාමුදුරුවන්ගෙන් මූර්ති ශිල්පය ඉගෙනගෙන ඉන්නා අතරේ තමයි මහත්තයාගේ තාත්තා නැති වුණේ. අන්තිමේ තරුණ වයසට එනකොට හාමුදුරුවෝ උන්වහන්සේගේ කලායතනය මහත්තයට භාර දුන්නා. එයා රැකියාව විදියට කළේ කලායතනය භාරව වැඩ කළ එක. කොයිතරම් හැකියාව තිබුණත් එයා ඒ කාලේ ගෙදර එක බුදුපිළිමයක්වත් හැදුවේ නැහැ; රැකියා ස්ථානයට අදාළ දෙයක් නිසා. විවාහ වුණාට පස්සේ, අපි ගෙදර පොඩියට මොනවා හරි කරමු කියලා මම මහත්තයාව ගෙදර නවත්තා ගත්තා. පිළිම හැදුවට කටින් කට ගිහින් දැනගත් කෙනෙක් විතරයි පිළිමයක් ගන්න ආවේ. මේ මහ ගෙදර තිබුණේ ටිකක් වත්ත ඇතුළට වෙන්න. ඒ නිසා පාරට පෙනුණෙත් නැහැ.
මම, මහත්තයා කොළඹින් ගේන ගල් ගෝනි ඇදගෙන එනවා. සමහර වෙලාවට ගල් උස්සාගෙන එනවා. කොහොමහරි දවසට ගල් ගෝනියක් කුඩු කරලා ඉවර කරනවා. මෝල්ගස් ගෙවෙන කල් ගල් වංගෙඩිය හෑරෙන කල් මම ගල් කුඩු කරලා තියෙනවා. අනන්තවත් මගේ ඇස්වලට ගල් කුඩු විසි වෙලා තියෙනවා. දුව ලැබෙන්න ඉන්න කාෙල් මම ඒ බරත් උස්සා ගෙන ඔය විදියට වංගෙඩියේ ගල් කුඩු කළා. කොයි වෙලාවකවත් මහත්තයට මැසිවිලි කිව්වේ නෑ. අඩුපාඩු කිව්වේ නෑ. එයා දුක් විඳින එකට හවුල් වෙන්න, උදව් වෙන්න ඕනේ කියන සිතුවිල්ල විතරයි මට තිබුණේ. කොහොම හරි අපි ගොඩ යන්න ඕනේ කියන අධිෂ්ඨානයෙන් වැඩ කළා. ඒක හරිම දුෂ්කර ජීවිතයක්. හැබැයි ඊට වඩාත් මං දුක් විඳලා තිබෙනවා.
විඳපු දුක් පැණි රස නිසා ඒ ගැනත් කියන්න…
ඒ වෙනකොට අපි හිටියේ ආර්ථිකයෙන් අන්තිම අඩියක. බතක් උයන්න ගෙදර හාල් නැති දවස් තිබුණා. බෙල්ලන්විල පන්සල් වත්තේ අක්කර පහක් විතර ලොකු මේ ඉඩමේ ඉස්සර තාප්ප තිබුණේ නැහැ. මිනිස්සු තුන් දෙනෙක් එකතු වෙලත් දෑතින් බදන්න බැරි කොස් ගහක් මේ අපේ ගෙවල් පිටිපස්සේ පන්සල් වත්තේ තිබුණා. ඒ කොස් ගහට කතා කරන්න පුළුවන් නම් කියයි, මං වේල් කීයක් ඒ ගහේ කොස් තම්බලා කෑවද කියලා. කොස් ගෙඩියක් කඩාගෙන සුද්ද කරලා ෆ්‍රිජ් එකේ දාගෙන උදේට දවල්ට රෑට තුන් වේලම කොස් කාපු දවස් තිබුණා. එකම ගෙදරක හිටපු නිසා අනෙක් අයගේ කෑම සුවඳ අනන්තවත් මට දැනුණා. දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අනුන්ගේ කෑම කන්න ආසා හිතුණත් එහෙම දේවල් මට ලැබුණේ නැහැ. මං ඉල්ලුවෙත් නැහැ. ඇත්තටම ඒ කාලේ මගේ ඇඟේ ලේත් හිඟ වුණා.
මගේ අම්මට තාත්තටවත් කවදාවත් ඇඟෙව්වේ නැහැ මට අගහිඟයි කියලා. වෙන එකක් තියා මං මහත්තයට දැනෙන්න ඇරියේත් නැහැ. එයා බඩු ගේන්න කොළඹ ගියා. සමහර දවස්වල පිටපළාත්වල. එයා මගෙන් කෑවද ඇහුවොත් මම කියන්නේ ඔව් කියලා. එකම ගෙදරක හිටපු නිසා එයා හිතුවා මට කෑම ලැබෙනවා ඇති කියලා. ආසාවට කොස් කනවා වගේ මං හැසිරුණා. සමහර දවස් තිබුණා මුකුත් ම නැතිව මම කලන්තෙ දාලා වැටුණු. මම ගල් තුනක් තියලා පන්සල් වත්තෙන් මටලු හණසු දර එකතු කරගෙන දුම් ගගහා උයද්දී, අනෙක් අය ඉව්වේ භූමි තෙල් ලිප්වල ගෑස් ලිප්වල. විසිකරන පොල්කට්ටක්වත් මට ලැබුණේ නැහැ ලිපේ දාන්න.
ඒ හැම වෙලාවකම මම හිතුවේ කොහොම හරි මම මේ ජීවිතයෙන් ගොඩ එනවා කියලා. අද අඩුම ව්‍යාංජන විස්සක් වත් තැබුවට ඒ දවස්වල මට තියන හැටියට බුද්ධ පූජාවට තිබ්බේ කොස් විතරයි. මම මනුෂ්‍යයන්ගේ අඩුපාඩු අමතක කරන කෙනෙක්. ඒ නිසා මම කාටවත් වෛර සිතුවිලි ඇති කර ගත්තේ නැහැ. සමහර විට බුදු පිළිම ඇසුරේ ම ගෙවපු ජීවිතයක් නිසා වෙන්න ඇති. මට පුළුවන් වුණාම හැමෝටම සැලකුවා. අදටත් එහෙමයි. විශේෂයෙන් මේ ආයතනයේ සේවකයන්ගේ දරු පවුල්වලට පුළුවන් උපරිම ලෙස මම සලකනවා.
තිබුණු පවුලක කෙනෙක් වෙලා ඒ විදියේ දරා ගැනීමක් කළේ කොහොමද …
ඇත්ත. අපිට කුඹුරු ඉඩකඩම් විතරක් නෙමෙයි වැඩට මිනිස්සුත් ඕනෑ තරම් හිටියා. ගෙදර හරක් අසූවක් විතර හිටියා. නැවුම් එළ කිරි විතරයි ළමයි බිව්වේ. හැබැයි තියෙන වෙලාවේ එහෙම ජීවිතයක් ගත කළාට, නැති වෙලාවෙදි මැසිවිලි නොනඟා ඒ ජීවිතයට මුහුණ දෙන්නත් මට පුළුවන් වුණා. ගැහැනියක් එහෙම විය යුතුයි. මොකද මගේ මහත්තයා පුළුවන් වෙලාවේ මට හොඳට සැලකුවා. අනික එයා රස්සාවෙන් අයින් වුණේ මගේ කීමට. ඒ නිසා පවුලක් විදියට ගොඩ ඒමේ වගකීම එයාට විතරක් නෙවෙයි මටත් තිබුණා. ලැබෙන කටුක අත්දැකීම්වලින් ජීවිතයට පන්නරයක් ගත්තා මිස, වෛරී සිතිවිලි ඇති කරගෙන පිරිහෙන්න මට ඕනෑ වුණේ නැහැ.
මහත්තයා නැති වෙනකොට ව්‍යාපාරය තිබුණේ කොහොම තැනකද…
අපි හිටියේ තරමක් ගොඩ ඇවිත්. එතකොටවත් අපිට වාහනයක් තිබුණේ නැහැ. හැබැයි මහත්තයා මගේ නමට දෙකෝටි ගාණක බැංකු ණයක් අරගෙන බොරලැස්ගමුවේ ගේ ගත්තා. මහත්තයා එහෙම කළේ එක ජීවිත අත්දැකීමක් නිසා. ඒ දවස්වල මගේ නංගිගේ මහත්තයා මිය ගියාම එයාට සියලු දේපළ අහිමි වුණා. මගේ මහත්තයා ඒ ගැන හුඟක් කතා කළා. එතැනින් එහා අපි යමක් ගත්තද ඒ සියල්ල ගත්තේ මහත්තයා මගේ නමට. එයා නැති කාලෙකවත් මටයි දුවටයි අසරණ නොවෙන්නයි එයා හැම දේම කළේ.
ගැහැනියක් විදියට හිතට බය දැනුණු අවස්ථා නැද්ද…
ඉස්සෙල්ලාම වාහනේ ගත්ත දවසේ මං වාහනෙත් පැදගෙන ගියේ එයා ඉන්න කනත්තට. මං එයාගේ වළ ළඟට ගිහින් කිව්වා, ඔයා ආස කරපු වාහනේ මං අද ගත්තා කියලා.
මහත්තයාව ආදාහනය කරලා ගෙදර ඇවිත්, ආපු මිනිස්සුන්ට මළ බත දීලා මම ගෙදර අයත් එක්ක ආපහු ගියේ කනත්තට. අළු ටික ගන්නකොට පාන්දර යාමේ. මම ඒ අළු මුට්ටිය අරගෙන ඇවිත් ගෙදර අල්මාරියේ මහත්තයාගේ යි මගෙයි ඇඳුම් තිබෙන පැත්තේ තැන්පත් කළා. සොහොන් ඵලකයක් හදන කල් මාස එක හමාරක් විතර අපේ අල්මාරියේ අළු මුට්ටිය එහෙම ම තිබුණා. කනත්ත, මිනි අළු මිනිස්සු බයවෙන දේවල් වුණාට මගේ මහත්තයා ඉන්න තැන මට නම් කිසිම බයක් දැනුණේ නැහැ, හයියක් මිස.
ව්‍යාපාර ප්‍රශ්නවල දී කවදත් අපි ළඟින් හිටපු හොඳ මනුෂ්‍යයන් දෙතුන් දෙනෙක් හරි හිටියා. මහත්තයා හදපු මේ බුදු පිළිම අච්චු එයාගේ මහන්සියෙන් ශ්‍රමයෙන් කැපවීමෙන් ගොඩනගපු දේ. එක වෙලාවක අපේම කෙනෙක් ප්‍රමුඛ වෙලා සේවකයන් කිහිප දෙනෙකුත් හවුල් කරගෙන කරපු විශාල හොරකමක් අල්ල ගත්තේ, එවැනි හොඳ මිනිසුන් හිටපු නිසා. කොහොම හරි ඒ අය එකතු වෙලා මහත්තයාගේ අච්චු පිට කළා. අදටත් ඒ අච්චුවලින් සිමෙන්ති දාලා ප්‍රමිතියක් නැතිව බුදු පිළිම හදලා බොහොම ලාබෙට විකුණනවා. නමුත් ඔවුන්ට අපේ තාක්ෂණය හොරකම් කරන්න බැරි වුණා. අපේ කිසිම බුදු පිළිමයකට සිමෙන්ති භාවිත වන්නේ නැහැ. ඒවගේම ඔවුන් අපි මේ පාවිච්චි කරන මිල වැඩි ගල් කුඩු පාවිච්චි කරන්නෙත් නැහැ. ඒ නිසා අච්චු හොරකම් කළාට අපේ බුදු පිළිමවල අනන්‍යතාව විනාශ කරන්න ඔවුන්ට බැරි වුණා.
ඒත් ඔබේ අත්වැල බිඳෙනවා. කොහොමද ආපහු නැඟිට්ටේ…
මහත්තයා නැති වුණේ රාජ්‍ය උත්සවයකට සහභාගි වෙලා ඉඳිද්දී. මම හිටියේ එයාට හේත්තු වෙලා. අතත් අල්ලාගෙන. පහයි තිහට ඒ උත්සවය ඉවර වෙලා, පිරිත් කියන්න ඉක්මනින් ගෙදර යන්නයි එයාට ඕන වුණේ. ඒත් හේත්තු වෙලා ඉඳිද්දී මට දැනුණා එයා ලොකු හුස්මක් අදිනවා වගේ. මං එයා දිහා බැලුවා. කතා කළා. ඇඟෙන් හෙලෙව්වා. උත්සව සභාව දෙවනත් වෙන්න කෑ ගැහුවා. අනේ එයා යන්න ගිහින්. ලස්සනට ඇඳලා පැලඳලා උත්සවයකට අපි දෙන්නා ම ආවට ආපහු මම ගෙදර ගියේ තනියම. එයා පෙට්ටියක. එයාගේ යාළු මිත්‍රයෝ, සෙත් පිරිත් හඬ මැද, වාඩිවෙලා හිටි පුටුවේ ම එයාට හෘදයාබාධයක් හැදිලා. මේක දාලා යන්න ආපු ජීවිතයක්. මිනිස්සුන්ට වෛර කරන එකේ තේරුමක් නැහැ කිව්වේ ඒකයි.
එතකොට බිස්නස් එක ආපහු ගොඩනැඟුවේ…
මහත්තයාගේ හත් දවසේ බණ කියලා පනස් නමකට දානේ දීලා හාමුදුරුවන් කරණීය මෙත්ත සූත්‍රය කියනකොට, මම සේවකයෙක් එක්ක පිටිපස්සේ බුදු පිළිමයක වැඩ ආරම්භ කළා. අටවෙනි දවසේ ඉඳලා මම සම්පූර්ණයෙන්ම වැඩ පටන් ගත්තා. හැබැයි ඒ දවස් හතට ගෝලයෝ ටික සීසීකඩ ගිහින්. සමහරු ගෝලයෝ ටික ඒ අයගේ තැන්වලට ගන්න උත්සාහ කළා. මොකද ශිල්පය තිබුණේ එයාලා අතේ. සමහරු ඉන්න ජ්‍යෙෂ්ඨම ගෝලයව බය කරලා තිබුණා . ‘මහත්තයා මැරුණේ වස් වැදිලා. ඊළඟට ඉන්න ලොකු ගෝලයා උඹ. බලාගෙන… ‘ කියලා. ඉතින් ඒ සමහර අය එන්න බය වුණා.
ගෙදර බැංකු ණය, සේවකයන්ගේ පඩිනඩි, අමුද්‍රව්‍ය ගේන එක, ළමයගේ වැඩ… මේ සේරම මගේ ඔළුවේ. එන විදියකට මුහුණ දෙනවා කියලා හිතාගෙන වැඩ කළා. ඒ පටන් ගත්තු ගමන තමයි මේ. හැබැයි අපිව දාලා නොගිය අවුරුදු විසිපහක් පරණ සේවකයොත් තවම අපි එක්ක ඉන්නවා. සමහරු කටකතා යැව්වා, කරගන්න බැරුව මම බිස්නස් එක විකුණන්න යනවා කියලා. මම බිස්නස් එකත් කරගෙන දුවටත් උගන්වා ගෙන මේ තැනට ආවා.
මහත්තයා නැති වුණේ 2010. දුව සාමාන්‍ය පෙළ ලිව්වෙ 2011 අවුරුද්දේ. මං එයාව උසස් අධ්‍යාපනයට පිටරට යැව්වා. අද එයා ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණය සහ ගණකාධිකරණය පිළිබඳ මැලේසියාවේ සහ ඕක්ලන්ඩ් යුනිවර්සිටියේ උපාධි දෙකක් හිමි උපාධිධාරිනියක්.