පහත සඳහන් වන්නේ The Story behind the Screen of the Speciality of Brian L. Weiss’s book ‘Many Lives, Many Masters’ යන මැයෙන් The New York Times පුවත්පතේ පළවූ ලිපියෙන් උපුටාගත් සංක්ෂිප්ත සටහනකි.
පුනර්භවය පිළිබඳ කුතුහලයක් ඇත්තේ අපරදිග ජනතාවටය. එම නිසා ඔවුහු නොයෙකුත් ආකාරයේ පර්යේෂණ සිදුකරමින් එහි සත්‍ය අසත්‍යතාවය විමසා බලන්නට හුරුවී සිටිති. ඒ අනුව මෙතෙක් ලොව බිහි වූ පුනර්භව පර්යේෂණවලින් සියයට සියයක්ම සිදුකර ඇත්තේ අපරදිග ලෝකයේය.
අපරදිග පුනර්භව පර්යේෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී විද්‍යාඥයන් වන මහාචාර්ය ෆ්‍රෙඩ්රික් විලියම් හෙන්රි මයර්ස්, වර්ජනියා සරසවියේ මහාචාර්ය ඉයන් ප්‍රිටිමන් ස්ටීවන්සන්, මහාචාර්ය කාල් ගුස්ටාව් ජුන්ග්, නිව්යෝර්ක් සරසවියේ ආචාර්ය ග්ර්ට්රූඩ් ෂෙම්ඩ්ලර්, ආචාර්ය රේමන්ඩ් මුඩි ඇතුළු මෙහි නම් සඳහන් නොකළ තවත් බොහෝ විද්‍යාඥයන් විසින් ඉතාමත් සැලකිල්ලෙන් සැලසුම් සහගතව තමන් කරන ඒ කාර්යභාර්යය පිළිබඳ මනා අවබෝධයෙන් සවිඥානිකව ඔවුන් විසින් කරන ලද සියලුම පුනර්භව පර්යේෂණයන් සිදුකර ඇත.
එම විද්‍යාඥයන් විසින් එලෙස සිදුකරන ලද ඔවුන්ගේ සියලුම පර්යේෂණයන්ට සාපේක්ෂව ගත් කල, බ්‍රයන් එල්. වයිස්ගේ මේ පුනර්භව පර්යේෂණය වෙනස්ම ආකාරයේ සුවිශේෂී එකක් බව පුනර්භව පර්යේෂකයෝ පෙන්වා දෙති. ඒ අනුව අපරදිග පුනර්භව පර්යේෂණයන්හි නිරත විද්‍යාඥයන් විසින් වයිස්ගේ මේ පර්යේෂණය වර්ගීකරණය කොට ඇත්තේ අහඹු සිද්ධියක් නිසා පැනනැඟුණු පුනර්භව පර්යේෂණයක් හැටියටය. ඒ අනුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ ඔවුන්ගේ විශ්ලේෂණාත්මක පොදු සමාලෝචන වාර්තාවේ සඳහන් කර ඇත්තේ ඉතාමත් කලාතුරකින් සිදුවිය හැකි අනපේක්ෂිත ආකාරයෙන් බිහි වූ ලොව එකම පුනර්භව පර්යේෂණය ලෙසටය.
බ්‍රයන් එල්. වයිස් නමැති මේ වෛද්‍යවරයා පුනර්භවය විශ්වාස නොකළ පුනර්භවය කොහෙත්ම පිළිනොගත් යුදෙව් ජාතික සම්භවයක් සහිත ඇමෙරිකානු මනෝ විද්‍යාඥයෙකි. විද්‍යාත්මක චින්තනයට අනුව සෑම දෙයක් දෙසම බැලීමට හුරු පුරුදු වී සිටි මේ වෛද්‍යවරයා, විද්‍යාත්මකව යමක් ඔප්පුකර පෙන්වනතුරු කිසිවක් නොපිළිගත්, විද්‍යාත්මක විධික්‍රමය තුළ දැඩි ලෙසම එල්බගෙන සිටි විද්‍යාඥයෙකි. එසේම මොහු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී පෙර භව චිකිත්සාව (Past Life Therapy) කොහෙත්ම භාවිතා නොකළ පෙර භව චිකිත්සාව කොහෙත්ම පිළිනොගත් වෛද්‍යවරයෙකි.
පර්යේෂණයට පාත්‍ර වූ තරුණ රෝගී කාන්තාව කැතරින් පුනර්භවය කොහෙත්ම විශ්වාස නොකළ, උපතින්ම සාම්ප්‍රදායික කතෝලික දර්ශනය සහ ප්‍රතිපත්ති ඇදහූ කතෝලික පවුලක හැදී වැඩුණු භක්තිමත් කතෝලික යුවතියක වූවාය.
වෛද්‍යවරයාගේ එකම අපේක්ෂාව වූයේ සාම්ප්‍රදායික මනෝ වෛද්‍ය චිකිත්සාව (psychotherapy) සහ සාම්ප්‍රදායික මෝහන චිකිත්සාව (Hypnotherapy) උපයෝගි කරගෙන එම කාන්තාවගේ මානසික රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමය. ඔහු පුනර්භවය විශ්වාස නොකළ පුද්ගලයෙක් වූ නිසා රෝගියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කරන අවස්ථාවේදී පුනර්භව පර්යේෂණයක් කිරීමේ කිසිදු අභිලාෂයක් වෛද්‍යවරයා තුළ නොවීය.
වෛද්‍යවරයා මේ කාන්තාවට ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලියේදී තමන් නොදැනුවත්වම අනපේක්ෂිත ආකාරයෙන් පෙර භව චිකිත්සාව (Past Life Therapy) වෙත යොමු වන්නේ අහඹු නෛසර්ගික සිදුවීමක් හැටියටය.
මේ පොතෙහි අන්තර්ගතය දෙස විචාරාක්ෂියෙන් බලන කල ගම්‍ය වන්නේ පුනර්භවය යථාර්ථවාදීව සිදුවෙමින් පවතින චක්‍රීය ක්‍රියාදාමයක් බව කිසියම් පිළිගත හැකි ක්‍රමවේදයක් ඔස්සේ ලෝකයා හමුවේ ඔප්පු කර පෙන්වීමට මනෝ විද්‍යාඥයකු වන බ්‍රයන් වයිස් සමත් වී ඇති බවය. ඔහු ප්‍රකාශ කරන අන්දමට මේ ග්‍රන්ථයට සම්පූර්ණයෙන්ම පදනම් වී ඇත්තේ ඔහු ප්‍රායෝගිකව මුහුණදුන් ස්වතන්ත්‍ර අත්දැකීමකි. මේ අත්දැකීම තුළින් තමන් පුනර්භවය යථාර්ථයක් ලෙස පසක් කරගත් බව ඔහු පවසයි.
අපරදිග සමාජයේ ජීවත් වූ ප්‍රාමාණික විද්වතෙක් වන රිස් ඩේවිස්, මීට බොහෝ කාලයකට පෙරාතුව ප්‍රකාශ කොට ඇත්තේ බුදුන් වහන්සේ මීට වසර 2500කට පමණ පෙරාතුව ඉන්දියාවේ ගංගා නම් නදී නිම්නයේ විසූ ජනතාවට දේශනා කළ ධර්මය, නවීන විද්‍යාව අතින් දියුණු ලන්ඩන් නගරයේ තේම්ස් නදී නිම්නයේ දිවි ගෙවන වර්තමාන ජනතාවටත් හරියටම ගැළපෙන බවය. විද්‍යාවත් බුදු දහමත් එකිනෙකට සංසන්දනය කළ නොහැකි බවත් බෞද්ධ දර්ශනයට සාපේක්ෂව ගත් කල විද්‍යාව තවමත් පසුවන්නේ ඉතාමත් ළදරු අවධියේ බවත් එම නිසා විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් බලා බුදු දහම අවබෝධ කරගත නොහැකි බවත් ඔහු විසින් පෙන්වා දී ඇත. මෙයින් ගම්‍ය වන්නේ රිස් ඩේවිස්ගේ මතය සමග මාධ්‍යවේදිනියට බ්‍රයන් එල්. වයිස් දුන් පිළිතුර හරියටම ගැළපී ඇති බවය. මෙමගින් ‘බුදු දහම තර්ක විතර්ක කිරීමෙන් අවබෝධ කළ නොහැකිය. බුද්ධ ධර්මය ප්‍රඥාවෙන් පමණක්ම අවබෝධ කරගත යුතු දහමක්ය’ යන බුද්ධ දේශනාවේ (භාෂිතයේ) නිරවද්‍යතාවය රිස් ඩේවිස්ගේ මේ ප්‍රකාශයෙන් ද බ්‍රයන් එල්. වයිස් මාධ්‍යවේදිනියට දුන් පිළිතුරෙන් ද මොනවට පැහැදිලි වේ.
● අසෝක කුමාරසිරි