දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සිය සුඛෝ භෝගී මෝටර් රථය 15 හැවිරිදි පුතුට පැදවීමට ඉඩ ලබාදුන් නීතිඥවරයා සහ එම කුඩා දරුවා පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙදෙනාටම රුපියල් 55000/= ක දඩ මුදලක් නියම කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා නියෝග කළේය.
මෙලෙස දඩ නියම වූයේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි නීතිඥවරයෙකුට සහ ඔහුගේ පුතුටය.ඊට අමතරව දැඩි අවවාද කළේය.
ඉකුත් 24 වෙනි නීතිඥවරයා සිය පවුලේ සාමාජිකයන් සමඟ තංගල්ල ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් පසුදින යළි මත්තල සිට කටුනායක දෙසට මෝටර් රථයෙන් යාමේදී මෝටර් රථය 15 හැවිරිදි පුතු වෙත ලබා දී ඔහු එය පඳවාගෙන යමින් සිටියදී වෙනත් වාහනයක් පදවාගෙන යමින් සිටි පුද්ගලයෙකු එය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබිණි.
මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම රථවාහන පොලිසියේ නිලධාරීන් මෝටර් රථයේ ලියාපදිංචිය අංකය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී අදාළ මෝටර් රථයේ හිමිකරු පුත්තලම ප්‍රදේශයේ අයෙකු බවට හඳුනාගෙන කරන ලද දැනුම් දීමකින් අනතුරුව ඔහු පොලිසිය වෙත ගෙන්වා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව බැඳුම්කරයක් මත මුදා හැර තිබිණි.
මෝටර් රථයේ ලියාපදිංචි අයිතිකරු වන නීතිඥවරයා රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනයට ඉඩදීම යන චෝදනාවට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 25000/= ක දඩ මුදලක් සහ වයස අවුරුදු 17 ට අඩු අයකු රිය පැදවීම හා ආසන පටි නොපැළැඳ රිය ධාවනය කිරීම යන චෝදනා යටතේ නීතිඥවරයාගේ පුතුට රුපියල් 30000/= ක දඩ මුදලක් නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.