බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේදී කුමාරි නමැති ඇතින්නියකට හෙණ්ඩුවෙන් ඇන වේවැලකින් පහර දී හිංසනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඇත් ගොව්වා අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර ගණනාවක් ඇතින්නගේ ඇත් ගොව්වා ලෙස සේවය කළ කිරිඳිවැල මැද්දේගම හිස්වැල්ල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.
ලොරියකට ඇතින්න ලවා ලී කොටන් පටවන අවස්ථාවේදී සැකකාර ඇත් ගොව්වා එලෙස හිංසනය සිදු කරන අයුරු දැක්වෙන ජංගම දුරකථනයකින් ලබාගත් වීඩියෝවක් 2019 වසරේදී "කුංචනාදය" නැමති සමාජ මාධ්‍ය පිටුවේ සංසරණය වි තිබුණද ඒ සම්බන්ධයෙන් කිසිදු පොලිසියකට පැමිණිල්ලක් නොවීමෙන් පරීක්ෂණයක් නොවීය.
එම හිංසනය සම්බන්ධයෙන් රෙයාර් ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පංචාලි පනාපිටිය මහත්මිය විසින් සැකකාර ඇත්ගොව්වා කුමාරි ඇතින්නියට එලෙස හිංසනය කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඇතුලත් සි ඩි තැටියක් මීට දින කීපයකට ඉහතදී පොලිසිය වෙත ඉදිරිපත් කරමින් කරන ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතා විමර්ශන සිදුකර සැකකාර ඇත්ගොව්වා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
එකී සිද්ධියට අදාළව කුමාරි ඇතිනියගේ හිමිකරු ද පොලිසියට ගෙන්වා ප්‍රකාශ ගත් බවත් මෙම සිද්ධිය පදනම් කරගෙන සැකකාර ඇත් ගොව්වා එම දිනවලම සේවයෙන් පහකළ බවට හිමිකරුගෙන් අනාවරණය වී යැයි පොලිසිය කියයි.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතාගේ උපදෙස් මත නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ ඒ එම් මිහිලාර් මහතා පරීක්ෂණ පවත්වයි.